SRI LANKA: ලංකාව අපරාධ මර්ධනය සම්බන්ධයෙන් පරාජයට පත්වූ රාජ්‍යයක්ද?

නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු

අනුරාධපුරයේ සුප‍්‍රසිද්ධ කරාටේ ශූරයෙකු මරාදැමීම පිළිබද කථාව පසුගිය සති වලදී සාකච්චාවට භාජනය විය. ඊට එක් හේතුවක් වූයේ එම අපරාධයේ දී කලා යැයි කියා ඒ වාර්තා වුන සමහර සිද්ධින්ය. 28 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් තමන් අදුනාගත නොහැකි ආකාරයෙන් එක සමාන ඇදුම් කට්ටල වලින් සැරසී එක සමාන ආයුධ ඇතිව කටයුතු කල බවත්, එම සිද්ධීන් ‘සීසීටීවී’ කැමරාවල වාර්තා වී ඇතැයිද, තවදුරටත් වාර්තා විය. මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් ඉතා සුවිශේෂී සිද්ධියක් වූයේ මෙම අපරාධය සංවිධානය කලා යැයි සැළකෙන එක් සැකකරුවෙකු ‘යූ ටියුබ්’ මාර්ගයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණු වීඩියෝ පටයකි. එහි ඔහු කියා සිටියේ සැකකරු මෙම මරණකරුට විරුද්ධව මෙම අපරාධය කිරීමට හේතුව වූයේ ඔහු අනුරාධපුරය වැනි ශුද්ධ ස්ථානයකට නොගැලපෙන ආකාරයක ව්‍යාපාර වල යෙදුනු බවත්, එම ව්‍යාපාර නිසා ප‍්‍රදේශයේ බොහෝ දෙනෙකු විශාල පාඩු ලැබූ බවත් හා විවිධ දුෂණයන් ද ඔහුගේ ව්‍යාපාර තුළින් කෙරුණ බවත්ය. මෙවැනි දුෂිතයෙකු නැති කිරීම සාධාරණ හා අවශ්‍ය ක‍්‍රියාවක්ය යන්න එම වීඩියෝ පටයෙන් කියවෙන පණිවිඩය වේ.

මෙතරම් ප‍්‍රසිද්ධ ආකාරයකින් අපරාධයක් සාධාරණය කිරීම තුළින් කියවුණේ අපරාධ මර්ධනය, පොලිසිය හා උසාවිය ඇතුඑ රාජ්‍ය සංස්ථා වලින් ඉවත් වී, රටවැසියන් කණ්ඩායමක් නීතිය ක‍්‍රියාත්මක කිරීම තමන් අතටම පවරා ගැනීම සාධාරණය කිරීමකි. ලංකාව තුළ නීතිය ක‍්‍රියාත්මක වීම අහෝසි වී ගොස් ඇති බවත් කැළෑ නීතියක් පවතින බවත් පිළිබදව දැනට කාලයක් පුරා පවතින කථාව මේ ආකාරයෙන් සනාථ කෙරිනි. අපරාධයක් හුදෙක් එම අපරාධයට භාජනය වන්නන්ට විරුද්ධව කරන ක‍්‍රියාවක් පමණක් නොව එය රජයට එරෙහිව කරන ක‍්‍රියාවක්ය යන්න බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ ස්ථාපනය කරන ලද ‘කොමන් ලෝ’ හෙවත් පොදු නීතිය යටතේ ඉතාමත් මූළික අදහසක් සේ සැළකේ. අපරාධ නීතියේ අත්තිවාරම ගොඩනැගී ඇත්තේ අපරාධය රජයට විරුද්ධව ක‍්‍රියාවක් බවත් එම නිසා අපරාධයට දඩුවම් පැමිණවීම රජයේ ඉතාමත් ප‍්‍රාථමික යුතුකමක්ය යන මූළධර්මයන්ය.

එම මූළධර්මයන් මගින් ඇගවුණු දෙවන මූළධර්මය නම් අපරාධයට දඩුවම් කිරීම සදහා සිවිල් සමාජයට බලයක් නැති බව පමණක් නොව එසේ දඩුවම් කිරීම තමන් අතට ගැනීමම අපරාධයක් සේ සැළකෙන බවය. මේ ආකාරයෙන් රටවැසියා ආරක්‍ෂා කිරීමේ වගකීම රජය විසින් තමන්ගේ ඉතාම වැදගත් වගකීමක්ය යන සංකල්පය සමාජගත කරන ලදි. එය ශිෂ්ඨ සාමජයක පැවැත්මේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්විය.

බි‍්‍රතාණ්‍යයන් විසින් ලංකාව තුළ ස්ථාවර කරන ලද අපරාධ නීතිය රටවැසියා ආරක්‍ෂා කිරීම පිළිබදව රජයේ යුතුකම පිළිබද සංකල්පය මත පිහිටා ඇත. මේ අනුව රටක අපරාධ යැයි සැළකෙන සියඑම ක‍්‍රියා නිර්වචනය කිරීම ද රජය මතම පැවරේ. දණ්ඩ නීති සංග‍්‍රහය හා වෙනත් පනත් මගින් ලංකාව තුළ පිළිගැනෙන අපරාධ නිර්වචනය කොට ප‍්‍රකාශයට පත්කොට ඇත.

අපරාධ නිර්වචනය කිරීම මෙන්ම එම අපරාධයක් සිදුවුණු අවස්ථාවකදී ඒ පිළිබදව රජය අනුගමනය කරන ක‍්‍රියාපටිපාටියද නීතිගත කොට සමාජගත කර ඇත. එම විධික‍්‍රමයට අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහය වශයෙන් නම් කොට ඇත. එම විධිවිධාන සංග‍්‍රහය මගින් අපරාධයක් පිළිබදව පැමිණිලි කරන්නේ කෙසේද? ඒවා සටහන් කරගැනීම පිළිබද වගකීම පැවරෙන්නේ කාටද, ඒවා සටහන් කරන්නේ කෙසේද? යන්න ඉදිරිපත් කර ඇත. එසේ කෙරෙන පැමිණිලි ගැන පරීක්‍ෂණ කිරීමේ වගකීම රජය වෙනුවෙන් ඉටුකරනේ කුමන බලධාරීන් විසින්ද? එම බලධාරීන් විසින් එම ක‍්‍රියාවලිය කරන්නේ කෙසේද? ආදියද මෙම විධිවිධාන වලම අඩංගුය. පරීක්‍ෂණ වලින් පසු නඩුවක් අධිකරණයට ඉදිරියට පමුණුවන්නේ කෙසේද? ඒ පිළිබදව ලේඛණ ඉදිරිපත් කරන්නේ කෙසේද? සැකකරුවන් ඉදිරිපත් කරන්නේ කෙසේද? එසේ ඉදිරිපත් කල පසු අධිකරණය ඉදිරියේදී කෙරෙන ක‍්‍රියාවලිය කුමක්ද? නීතිපතිවරයා විසින් කෙරෙන ක‍්‍රියාවලිය කුමක්ද? විනිශ්චකාරවරුන්ගේ යුතුකම් මොනවාද? අවසාන වශයෙන් දඩුවම් පැමිණවීම හා ඒවා ක‍්‍රියාත්මක කිරීම පිළිබදව පවතින නීතිමය විධිවිධාන මොනවාද යන්නද ඉතා පැහැදිලි ලෙස නිර්වචනය කොට ප‍්‍රකාශයට පත්කොට ඇත.

එම ක‍්‍රියාවලියේ මූළික අංග නම් අපරාධ පරීක්‍ෂණයන් පිළිබදව පොලිසිය වෙත පැවරෙන වගකීම, අපරාධ නඩු ගොණුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත පැවරෙන වගකීම, අපරාධ නඩුවල සැකකරුවන් පිළිබදව ගතයුතු පියවර හා නඩු ඇසීම සම්බන්ධයෙන් අනුගමනය කලයුතු ක‍්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් අධිකරණ නිළධාරීන් වෙත පැවරෙන යුතුකම් වලින් සමන්විත වේ. එම යුතුකම් අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ක‍්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් රදවාගැනීම හෝ මුදවාහැරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් අනුගමන කල යුතු ක‍්‍රියාදාමය සම්බන්ධයෙන්ද අපරාධ නීතියේ මුල් තැනක් ගනී.

මේ සියල්ල සම්බන්ධයෙන් නීති පමණක් නොව නීතිය පිටුපස පවතින නීතිමය දර්ශනවාදය හා සිද්ධාන්ථ ද ඇත. ඉහත සදහන් ආකාරයට අපරාධය රජයට විරුද්ධ ක‍්‍රියාවක් සේ සැළකීම හා ඒ අනුව අපරාධයට දඩුවම් කිරීම පිළිබදව රජයේ ඇති වගකීමත් දඩුවම් කිරීම මගින් අපරාධ වැළැක්වීම පිළිබදව පවතින නීතිමය සිද්ධාන්ථත් මුල්තැනක් ගනී. අපරාධයට දඩුවම් කිරීම රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු යුතුකමක් සේ මෙම නීතිමය දර්ශනවාදය මගින් ස්ථාවර කොට ඇත. අපරාධයට දඩුවම් කිරීම පිළිබද යුතුකම රජයට මගහැරිය නොහැකි යුතුකමකි. එමෙන්ම එම අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලීසිය හා ඊට අනුබද්ධව ක‍්‍රියාකරන වෙනත් රජයේ සංස්ථා වල යුතුකම්, නඩු ගොණු කිරීම පිළිබදව නීතිපතිවරයා කටයුතු කල යුතු ආකාරය හා මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් සිදුවිය යුතු ක‍්‍රියාවලියද, රජයක් විසින් කල යුතු අනිවාර්යය යුතුකම් හැටියට ගැනේ.

මේ ක‍්‍රියාවලීන් ඉටුකිරීම මගින් අපරාධවලින් රටවැසියා ආරක්‍ෂා කිරීමේ හැකියාව තමන්ට පවතින බව රජයක් විසින් ජනතාවට ඒත්තු ගන්වනු ලබයි. අපරාධ මර්ධනය සදහා රජයට ඇති බලය හා එම බලය ක‍්‍රියාත්මක කිරීමට එයට ඇති හැකියාව රටවැසියාගේ ආරක්‍ෂාවේත් සමාජයේ ස්ථාවරත්වයේත් රාජ්‍ය තන්ත‍්‍රයේ ස්ථාවරත්වයේත් අත්‍යාවශ්‍ය පදනම වේ. මේ අනුව රජයක් කිරීමේ දී ඉටුවිය යුතු ඉතාමත්ම මූළික යුතුකම් අතරට අපරාධ වලින් රටවැසියා ආරක්‍ෂා කිරීම හා අපරාධ මර්ධනය කිරීම ප‍්‍රධාන තැනැත් ගනී.

ඉහත සදහන් අනුරාධපුර සිද්ධිය හා ඊට සමානව විශාල වශයෙන් වාර්තා වන සිද්ධීන් මගින් කියවෙන්නේ රජය විසින් සිදුකල යුතු වන මෙම අපරාධ මර්ධන කර්තව්‍යයය සම්බන්ධයෙන් විශාල කඩාවැටීමක් ලංකාවේ පවතින බවය. එවැනි කඩාවැටීමකින් ඇගවෙන්නේ රජයක් විසින් ඉටුකල යුතු මහජන ආරක්‍ෂාව හා අපරාධ මර්ධනය යන කරුණු ගැන රජය ක‍්‍රියාකල යුතු අකාරය සම්බන්ධයෙන් විශාල පසුබැස්මක් ලංකාවේ පවතින බවය. මෙවැනි කඩාවැටීමක් පටන්ගෙන විකාශන වූයේ කෙසේද? යන්න එක් ප‍්‍රශ්ණයකි. එහෙත් වඩා වැදගත් වන්නේ රජයක් විසින් ඉටුකල යුතු ඉතා ප‍්‍රධාන කර්තව්‍යයක් සම්බන්ධයෙන් බරපතල පැහැරහැරීමක් පවතින බවත් එම බරපතල පැහැරහැරීම නිසා අතිවිශාල වශයෙන් මහජන කලකිරීමක් පවතින බවත්ය. එවැනි විශාල කලකිරීමක් පවතින සමාජයක මහජන ආරක්‍ෂාවක් පැවතිය නොහැකිය. ආරක්‍ෂාවෙන් තොර බවට පත්වූ සමාජය අතීශයින් පරිහානියට පත්වූ සමාජයකි.

මෙය රජයටත් සමාජයටත් ඉතාමත් තර්ජනකාරී වූ තත්ත්වයකි. මෙම තත්ත්වයට මුහුණ දී අදාල ප‍්‍රශ්ණ සාකච්චා කොට ඒවා විසදාගැනීම සදහා මූලෝපායන් වර්ධනය කිරීම සමාජයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් පවතින විශාල අභියෝගයකි. එවැනි අභියෝග වලට මුහුණ දිය හැකි වන්නේ ප‍්‍රශ්නය පිළිබදව පුඑල් හා ගැඹුරු කල්පනා ධාරාවක් රජය තුළත්, රජයේ සියඑ සංස්ථාවන් තුළත්, මෙන්ම සමාජයේ සියඑම ජනකොටස් තුලත් පැතිර පැවතුනහොත් පමණය. එහෙත් එවැනි කල්පනා ධාරාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් විශාල ප‍්‍රයත්නයක් පවතින බවක් පෙනෙන්නට නැත. මෙය රජයේත් සමාජයේත් අවධානයට යොමුවිය යුතු ගැටඑවකි. එසේ එයට මුහුණ නොදුනහොත් රටේ උද්ගතවන තත්ත්වයත් ජනතාව තුළ උද්ගතවන මානසික තත්ත්වයත් අනුරාධපුර සිද්ධියෙන් ප‍්‍රකාශයට පත්වී ඇත.