ශ්‍රී ලංකා: රටේ අනාගත දිශානතිය තීන්දු කිරීමේ සාකච්ඡාවලට ස්ත්‍රීන්ගේ සහභාගිත්වය වැඩිකරමු

A Statement from People’s Commission of Women in Sri Lanka forwarded by the Asian Human Rights Commission

පසුගිය දශක ගණනාවක් තිස්සේ බලයට පැමිණි විවිධ ආණ්ඩු අනුගමනය කළ අදූරදර්ශි, දූෂිත හා මිත්‍ර හා ඥාති සංග්‍රහ වලින් සපිරි ක්‍රියාමාර්ගවල අවසන් ප්‍රථිපලය ලෙස ස්වභාවික හා මානව සම්පත්වලින් අනූන ඉතාම සශ්‍රීක රටක් ලෙස ස්ථාපිත වන්නට තිබූ අප රට බංකොලොත් භාවයට පත්කර ඇත. මෙම
තත්ත්වය හේතුවෙන් සමස්ත ජනතාවම ලක් ඉතිහාසයේ නොවූ විරූ තරමේ ඉමහත්වූ පීඩාවන්ට පත්වූ බව අමුතුවෙන් සදහන් කල යුතු නැත.

පසුගිය මාස, සති හා දින කීපය තුල කිසිදු භේදයකින් තොරව රටේ සමස්ථ පොදු ජනතාව ඉතිහාසයේ මෙවැනි විවිධ අර්බුද වලදී මැදිහත්වූ සිවිල් පුරවැසියන්, පූජ්‍ය පක්‍ෂ, නීතිඥ කණ්ඩායම්, නීතිඥ සංගම්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, මාධ්‍යවේදීන්, වෘත්තිකයන් හා විශේෂයෙන් මෙරට අනාගතය බාර ගැනීමට නියමිත ශිෂ්‍ය හා තරුණ පරපුර මෙම අර්බුදයට තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙරමුණ ගත්හ. මෙම ප්‍රතිචාරාත්මක අරගලය තුලින්, තීරණාත්මකව ප්‍රකාශ වූයේ හා ඉල්ලා සිටියේ මෙතෙක් දශක හතක් තිස්සේ ක්‍රියාත්මකවූ සියලු ක්‍රමවේදවල, සියලු ව්‍යුහන්වල, මතවාද හා ප්‍රවේශයන්වල හා වෙසෙසින්ම පුද්ගල චරිතවල පවා වෙනසකි.

මෙම අරගලය යම් ජයග්‍රාහී කඩඉමක් පසුකරන මෙම මෙහොතේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන භූ දර්ශනයේ තීරණාත්මක හා කැපී පෙනෙන වෙනසක් මෙම අරගලයේ නියැළි සියලු පාර්ශව ඉල්ලා සිටිති.
අපි, පසුගිය මාර්තු මස 08 වෙනි දින, මෙරටේ ජනගහනයෙන් 52%ක් සහ ජන්දදායකයින්ගෙන් 56% ක් වන ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම්, අභිලාශයන්, රටේ ඉදිරිමග පිලිබද ස්ත්‍රීමය දැක්මක් හා ප්‍රවේශයන් රාජ්‍ය පාලනයේ හා සමාජ දේහයේ දැවැන්ත කොටසක් බවට පත් කර ගැනීම උදෙසා කටයුතූ කිරිමට “ස්ත්‍රීමය දැක්මක් සහිත ආදරණීය ලොවක්” යන්න තේමා කරගනිමින “ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ මහජන කොමිසම” සදහා වන මෙහෙයුම් කමිටුව ස්ථාපිත කළෙමු.

රටේ ඉතාම තීරණාත්මක මොහොතක් පසුකරමින් සිටින මෙම මොහොතේ අපගේ නිරීක්ෂණය වන්නේ අප රටේ ඉදිරි මග පිලිබඳ දැවැන්ත හා පුලුල් ජන සහභාගිත්වයක් ඇතිව කෙරෙන සාකච්ඡාවලදී කාන්තා සහභාගිත්වයක් නැති බවය. “තනතුරු” බෙදා ගැනීමේ රුදුරු අරගලයෙන් සුපුරුදු පරිදි කාන්තාවන් බැහැර කරඇති බවකි. එවන් වගකීමක් ගැනීමට හැකි අත්දැකීම් සහිත, සහජ හැකියාවන් ඇති ප්‍රබල, ප්‍රවීණ කීර්තිමත් කාන්තා චරිත පිලබඳව සාකච්ඡා නොවෙන බවකි. රටට අලුත් පාලන ක්‍රමවේද ඉල්ලා සිටීමේ රටපුරා මතුවූ මහා අරගලයේ සෑම තැනකම සත්‍රීන්ගේ නායකත්වයද සහභාගිතවයද සක්‍රීය ලෙස
තිබූ නමුත් ඉදිරි ක්‍රියාමාර්ග සැලැසුම් කිරීමේ සාකච්ඡා මණ්ඩපවලින් ඔවුන් බැහැර කරඇති බව පැහැදිලිය.

දැනට රටේ අනාගතය පිලිබදව ඇතිවන තීරණාත්මක සාකච්ඡාවලින් කාන්තා නියෝජනය සහමුලින් බැහැර කර ඇති නිසා, අනාගත සැලසුම්, අලුත් ,පොදුජන හිතකාමී, ස්ත්‍රී, ළමා හා පරිසර හිතවාදී හා සාධාරණ ඒවා වේයැයි අපට විශ්වාසයක් නැත.

විශේෂයෙන් ජන අරගලයේ ආර්ථික, සමාජ හා දේශපාලන අභිලාශයන් ක්‍රියාත්මක කිරිම සදහා අන්තර් කාලීන ආණ්ඩුfවි තීන්දු ගන්නා සියලුම ව්‍යුහයන් තුළ බලවත් ස්ත්‍රී නියෝජනයක් සහතික කල යුතු බව අපිඅවධාරණය කරමු.

එසේම විශේෂයෙන් ස්ත්‍රීන් හා ළමුන් බරපතල ලෙස පීඩාවට පත්කර ඇති ආර්ථික අර්බුදයට පිළියම් යොදන්නට යෝජිත මහජන උපදේශක සභාවේ නායකත්වයට ස්ත්‍රී නියෝජිතයින් පත් කල යුතු බවට ද අපි යෝජනා කරමු.

එහෙයින් කුමන හෝ ක්‍රමවේදයක් භාවිතා කොට මෙම ඉහල හා පහල පෙලේ සාකච්ඡා හා තීන්දු ගැනීමේ සියලුම මණ්ඩපවල ස්ත්‍රීන්ගේ සහභාගිත්වය වහා ඇති කර ගත යුතූ බවට “ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ගේ මහජන කොමිසම සදහා වන මෙහෙයුම් කමිටුව” බල කර සිටී. මෙම සාකච්ඡා සදහා සහභාගිවන සියලුම පාර්ශව හා කණ්ඩායම්වලින් අනිවාර්යයෙන්ම ස්ත්‍රී සහභාගිත්වයක් සහතික කර ගත යුතු ලෙස අපි යෝජනා කරමු.

පත්කරගන්නට නියමිත අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමති මණඩලය සදහා ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන්ම පත්කල යුතූ බවට අපි යෝජනා කරමු. පසුගිය කාලවකවානුව පුරාම හා ඉතා මෑතදී නියෝජ්‍ය කථානායක ධුරය සදහා සංකේතීය ලෙස හෝ කාන්තාවක් පත් කරගන්නට පියවර නොගත් අත්දැකීමක්ය අපට ඇත්තේ. එහෙත් රට තුල අලුතින් ඇතිවී ඇති තත්ත්වයන් තුල අලුත් ප්‍රවේශයන් ගත යුතු බව අපගේ අවබෝධයය.

නො එසේනම් වන්නට නියමිතව ඇත්තේ පසුගිය දශක හත තුල ක්‍රියාත්මකවූ පුරුෂ මූලික ස්ත්‍රීන් බැහැර කරවන ක්‍රමවේදයේම දිගුවකි.

එය අප රටේ අනාගත දේශපාලන භූ දර්ශණය වෙනස් කිරීමට බල කළ අරගලයේ අභිලාශයන් යටපත් කරවන්නට හේතු විය හැකි බව අපගේ අනුමානයයි.

සෑම සාකචිඡාවකටම කාන්තා නියෝජනය අනිවාර්ය කරන ලෙස ද ඔවුන්ගේ අදහස් හා යෝජනා සදහා අවධානය යොමු කරන ලෙස ද අපි තරයේ ඉල්ලා සිටිමු. ඒ, මෙම සාකච්ඡා වලින් වැඩිම බලපෑමක් ඇතිවන්නේ ජනගණයෙන් හා ඡනදදායක්යන්ගෙන් බහුතරය වන ස්ත්‍රීන්ට වන නිසා හා මෙවන් සමාජ දේශපාලන ආර්ථික අර්බුදවලදී පලමුවෙන්ම හා දැඩිවම පීඩාවට පත්වන්නේ ස්ත්‍රීන් වන නිසාය. විශේෂයෙන් සමාජයේ ආන්තික කොටස් හා අන්ත දිලිදු හා ඉතා අඩු වැටුප්වලට වැඩ කරන කාන්තාවන්ගේ ඉල්ලීම් හා අභිලාශයන් නියෝජනය කරන කාන්තා නියෝජිතවරියන්, තීන්දු ගන්නා මණ්ඩල වලට පත්කර ගත යුතුමය.
……………..

The views shared in this statement do not necessarily reflect that of the AHRC.

Document Type : Forwarded Statement
Document ID : AHRC-FST-004-2022
Countries : Sri Lanka,
Issues : Civil and Political Rights, Democracy, Human rights defenders, Women's rights,