ශ්‍රී ලංකා: වධහිංසාවට එරෙහි වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය. ආසියානු මානව හිමිකම් කොමිසමේ පණිවිඩය

01. ස්ථාවර හා සෞභාග්‍යමත් සමාජයක අත්තිවාරම වන්නේ සාධාරණ නීති පද්ධතියක් හා එම නීති පද්ධතිය ක්‍රියාත්මක කල හැකි ආයතන පැවතීමත් මතය. නීතිය ක්‍රියාවට දැමීමේ වගකීම පැවරෙන ආයතනය පොලීසියයි. වෘතීමය වශයෙන් නිපුණ නිදහස්ව ක්‍රියා කල හැකි දූෂණයෙන් හා අශීලාචාරත්වයෙන් තොර පොලිස් ආයතනයක් ස්ථාවර සමාජයකට අත්‍යාවශ්‍යය.

02. සිවිල් පොලිස් ක්‍රමයක් නිසි ලෙස ගොඩනගා ගැනීමේ ප්‍රයත්නය 19 වන ශත වර්ෂයෙන් පටන්ගෙන ශත වර්ෂයක් පමණ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වැඩෙමින් පැවතියේය.

එහෙත් 1970 පමණ කාලයේ සිට අද දක්වා මෙම පොලිස් පද්ධතිය ටිකෙන් ටික දුර්වල වීගෙන ගිය අතර පසුගිය කාලය තුල එය අකාර්යක්ෂම, දූෂිත, නිදහසින් තොර වෘත්තීය ගතිගුණ අවම වූ ආයතනයක් බවට පත් විය. මෙම තත්වය ලංකාවේ ස්ථාවරත්වයට හා සෞභාග්‍යයට අත්‍යාවශ්‍ය වන අත්තිවාරම බිද දමා ඇත.

03. සෑම පොලිස් ස්ථානයක් තුලම මෙන් සිදුවන වදහිංසා, අත්තඩංගුව තුලදී සිදුවන ඝාතන, බොරු නඩු දැමීම් මගින් නිර්දෝෂී පුද්ගලයන්ට කරන බරපතල හිරි හැර, දේශපාලන හේතූන් මත කෙරෙන නඩු පැවරීම් මෙන්ම හුදෙක්ම අල්ලස් ගැනීම හා දැඩි වෘත්තීය නොසැලකිලි බාවය නිසා ඇතිවන වැරදි නිසා රටේ පොදු ජනතාව බරපතල ලෙස කරදරයට පත් වී සිටී.

04. මෙම සංස්ථාව වෘත්තීය යුතුකම් ඉටුකිරීමට හැකි සංස්ථාවක් බවට පත් කරවා ගැනීම සදහා කිසිදු උනන්දුවක් විවිද දේශපාලන නායකත්වයන් විසින් පෙන්නුම් කරන්නේ නැත. ආයතන දියුණුව සදහා අවශ්‍ය අයවැය ලබාදෙන්නේද නැත. අකාර්යක්ෂම හා දූෂිත පොලීසියක පැවැත්ම දේශපාලන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

05. ලංකාව විවිද විශාල අර්බුදයනට මුහුණ දෙන අවස්ථාවක සමාජය වෙත ඉටු කල යුතු යුතුකම් ඉටු නොකරන පොලීසියක් එම අර්බුද වැඩි කිරීමට හේතු වේ. රටේ අනාගතය සුරක්ෂිත වීමට හා සෞභාග්‍යමත් වීමට නම් මෙම තත්වය වෙනස් කරවා ගැනීම රටේ සියලුම අංශයන් තුල ප්‍රධානතම අරමුණක් බවට පත් කර ගත යුතුය. එසේ නොවුනහොත් දැනටමත් වර්ධනය වෙමින් පවතින විපත් වඩ වඩාත් ව්‍යාප්තව ගොස් හිතා ගත නොහැකි ප්‍රමාණයේ විනාශයක් කරනු ඇත.

වීඩියෝ පණිවිඩය මෙතනින් අසන්න 

Document Type : Statement
Document ID : AHRC-STM-014-2021
Countries : Sri Lanka,
Issues : Administration of justice, Civil and Political Rights, Democracy, Judicial system, Right to fair trial, Rule of law, Torture,