ශ්‍රී ලංකා: නව පරපුරක තත්වාවබෝධය

බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන ගැටලු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටක් මුහුණදිය හැකි සියලුම වර්ගයේ ගැටලු දැන් ඉතා තීව්‍රව රට පුරා පැතිර පවතී.

සෑම පවුලක් හා ගම් බිමක් පාසා සැබෑ මරණ බයක් පැතීරී පවතී. එක් අතකින් ඔවුන් අවට කවුරුන් හෝ කොවිඩ් 19 වෛරසය නිසා මරනයට පත්වී සිටී. මේ අතර කොවිඩ් තමන්ට හා තමන්ගේ හිතවතුන් අතරටද පැතිරිය හැකි බව පිලිබදව සැබෑ භීතියක් රටේ අස්සක් මුල්ලක් නෑරම පවතී. වසංගතයක් පිළිබද මේසා අත්දැකීමක් මෑත යුගයකදී ලංකාව තුල දැකගන්නට හෝ අසන්නට නැත.

මුල් කාලයකදී මෙම වෛරසයේ ප්‍රතිඵල පිළිබදව අවබෝධයේ අඩුවක් තිබුනානම් දැන් එම තත්වය මුලුමනින්ම වෙනස් වී පවතී. එන්නත ලබා ගැනීමට පොරකමින් ඉදිරියට එන ජනතා රුල්ල තුලද ඇත්තේ මෙම අවබෝධය සහ එම අවබෝධය තුලින් ජනනය වී ඇති භීතියයි.

එමෙන්ම මෙසේ සැබෑ භීතියක් පැතිරවීම විවිධාකාර දේශපාලන ප්‍රචාරණයට විශාල ගැටලුවක් සේ පවතී. දේශපාලන ප්‍රචාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ජනතාව තුල පැතීරී පවතින අනවබෝධයයි. එම අනවබෝධය බොරු තොරතුරු ඉදිරිපත් කිරීම මගින් තාවකාලිකව යටපත් කල හැකිය. ඒ අනුව තමන් බලාපොරොත්තු වන දේශපාලන අරමුණුද ඉටු කර ගත හැකිය. එහෙත් ප්‍රශ්ණයක් පිළිබද සැබෑ අවබෝධයක් රට තුල වැඩෙන්නට ගත්පසු හා එම අවබෝධය මගින් තමන්ගේ ජීවිත වලටම පවතින තර්ජනය පිළිබදව පණිවිඩයක් සෑම මොහොතකම මෙන් තමන්ගේ සිත්තුල ජනනය වන තත්වයක් තුල එවනි දේශපාලන ප්‍රචාරයන් සාර්ථකව කර ගැනීමට තිබූ පරිසරය අවලංගු වී යයි. මෙවැන්නක් සමාජය තුල ඇති වන අවස්ථාව සමාජයේ සැබෑ වර්ධනය කෙරෙහි බලපවත්වන ඉතා ප්‍රභලම සාධකයක් බවට පත් විය හැකිය.

මෙම තත්වය තුල රජය විසින් ගෙන යන ප්‍රචාරය රජයටම අහිතකර වන්නා වූ ප්‍රචාරයකි. එනම් රටේ ආර්ථික ගැටලු ඉතා ගැඹුරුව පවතින හෙයින් මෙම කොවිඩ් 19 මගින් ඇති වීමට ඇති මරණ හා වෙනත් ව්‍යවසන වලක්වා ගැනීමට වඩා ආර්ථිකය රුක ගැනීමට අවශ්‍ය යන පණිවිඩය ජනතාවට ගෙන එන්නේ තමන්ගේ මරණය පවා රජයට එතරම් වැදගත් කරුණක් නොවන බවය.

එවනි පණිවිඩයක් ජනතාව තුල ඇති කරන්නේ අතිමහත් කුකුසකි. සෑම ජීවත් වන මිනිසකුටම හා ගැහැනියකටම තමන්ගේ ජීවිතය ආර්ථිකයට හෝ වෙනත් දෙයකට වඩා වැඩි වටිනාකමින් යුතු දෙයක් වේ. මෙය ස්වභාවිකය. සම්පූර්ණ මිනිස් පැවැත්ම පවතින්නේ අන් සියල්ලටම වඩා තමන්ගේ ජීවිතය රුක ගැනීමට සෑම කෙනෙක් තුලම ඇති අතිශයින් ගැඹුරු වූ උවමනාව තුලය. එම උවමනාව ජීවිතය අතිශයින්ම ගැඹුරු ලෙස තර්ජනයකට පත් වූ අවස්ථාවක රජයකට එය වැදගත් කරුණක් නොවන්නේ නම් ඒ තුලින් ජනතාවත් රජයත් අතර ඇතිවන විශාල පරතරය අවබෝධ කර ගැනීමට එතරම් අමාරු නැත.

මේ යටින් පවතින්නේ හිතවත්කම් බිදී යාමකි. කුමන අඩු පාඩු තිබුනත් තමුන්ගේ ආණ්ඩුව අවම වශයෙන් තමන්ගේ ජීවිතය රුකදීම සදහා සැලකිය යුතු ප්‍රයත්නයක් දරනු ඇත යන විශ්වාසය මත ජනතාවත් රජයත් අතර ඇති හිතවත් කම පදනම් වී ඇත. එම හිතත්කම පුහු විශ්වාසයක් මත පදනම් වූ එකක් බව හෙළිදරව් වීමට පටන්ගත් තැන සිට සිදුවන්නේ ජනතාව තුල එවනි හිතවත්කමක් පවත්වාගෙන යෑමට තවදුරටත් හේතුවක් නැතැයි යන අදහස පැතිරී යාමය. එවනි තත්වයක් දැන් ලංකාව පුරාම පැතිර ගොස් ඇත. මෙම හිතවත් කම බිදී යෑම තාවකාලික ප්‍රශ්ණයක් නොවන බවද ඒ ආකාරයෙන්ම කවුරුත් වටහා ගැනීමද පුදුමයක් නොවේ. දස අතින්ම ඇසෙන්නේ ඉතාමත්ම බරපතල ප්‍රශ්ණයන්ය. ආර්ථිකය කඩා වැටීම, මූල්‍ය ක්‍රමයේ ඇති අපිරිමිත ගැටලුව, රටේ ආහාර නිෂ්පාදනයේ ඇති විය හැකි විශාල කඩා වැටීමක් පිළිබදව තොරතුරු හා ඒ වටා සිදුවන අන්ත දුගී භාවයේ රැව්පිළි රැව්දීම් සියල්ලම තුලින් ගොනු වන්නේ හිතවත් කමේ නොව අහිතවත් කමේ සලකුනුය.

මේ සියල්ල වඩාත් තදබල ලෙස බලපානනේ ටේ තරුණ පරපුර කෙරෙහිය. ඔවුන් තමන් තුල ඇති සමාජ අවබෝධය වැඩීම පටන් ගන්නේ මෙවනි ගැඹුරු අවුලට පත් සමාජයක් තුල දකින්නට අසන්නට ලැබෙන දේ මගිනි. මෙම තරුණ පරපුරේ ගුරුවරයා වන්නේ සමාජ පීඩනය හා සමාජ අර්බුධයයි.

මේ නිසා මෙම නව පරම්පරාවද රටේ මෙම ආරවුල් ඇති කර ඇති මෙම වැඩිහිටි පරම්පරාව දෙස එතරම් දැඩි විශ්වාසයකින් නොබැලීමද පුදුමයට පත් වීමට දෙයක් නොවේ. රජයේ අහිතවත්කම් වැඩි වශයෙන්ම බලපවත්වන්නේ මෙම තරුණ පරපුරේ පැවැත්ම සම්බන්දයෙනි. ඔවුන්ගේ වත්මන් පැවැත්ම පමණක් නොව ඔවුන්ගේ අනාගත පැවැත්මද නීර්ණය කරන ප්‍රධාන සාධකය වන්නේ මහා පරිමාණ ගැටලු සමුදාවකි.

මෙහිද සාධනීය පැත්තක් ඇත. එනම් ලාංකික සමාජයේ සාමාන්‍යයෙන් පුරුදුව තිබෙන ගතානුගතික පැවතීම් සම්බන්දයෙන් ඉතා දැඩි බිදීමක් තරුණ පරපුර තුල ඇති වී තිබීමය. 1970 දී පමණ ඉස්මතු වූ තරුණ පරපුර පිළිබදව කියන ලද්දේ එම පරපුර කිසියම් අසහනයකින් පෙලෙන බවය. එහෙත් දැන් තරුණ වියට පත්වන කණ්ඩායම් තුල ඇත්තේ ඊට වඩා අතිශයින් ගැඹුරු අර්බුධයකි. එනම් දැන් පවතින සමාජ රටාව හා සමාජ පරිසරය තුල තමන්ට හිමිවන්නේ අදුරු අනාගතයක් පමණක්ය යන හැගීම විසින් ඇති කරනු ලබන කම්පනයය. මෙම කම්පණය බොහෝ නිර්මාණයනට මග සැලැස්විය හැකි ප්‍රධාන සාධකයක් වීමට ඇති ඉඩ කඩ ඉතා පළල්ය.

ගතානු ගතිකත්වයෙන් මිදීම ඔිනෑම සමාජයකට අතිශයින්ම අමාරු කරුනකි. එහෙත් නව තරුණ පරපුරකට එම ගතානුගතිකත්වය තුල තව දුරටත් රැදී සිටීමට බැරි තත්වයක් ඇති වී ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් ඉන්නා ඉවුරෙන් වෙනත් ඉවුරකට යෑම පිලිබදව, එනම් තමන් ඉන්නා ගැටලු වලින් එතෙර වීම පිළිබදව සිතීමට ඔවුන්ට සිදුවී ඇත.

නව තත්වාවබෝධයක් තුලින් නව මානසික තත්වයන් බිහිවන මොහොතක් දැන් ලගා වී ඇත. එම තත්වාවබෝධයන් තුලින් රටේ පැලපදියම් වූ ගතානු ගතිකත්වය බිදීයානම් දැන් මේ මුහුණ දෙන බරපතල අර්බුධය මගින් කිසියම් නව මාවත් කරා යොමු වුනු තරුණ පරපුරක් අවශ්‍යයෙන්ම බිහි විය යුතුව ඇත.

Document Type : Article
Document ID : AHRC-ART-042-2021
Countries : Sri Lanka,
Issues : Administration of justice, Civil and Political Rights, Democracy, Right to life, Rule of law,