ශ‍්‍රී ලංකාවේ නෛතික බුද්ධියේ පිරිහීම: (6)

බාගෙට හැදූ නිවසක් තුළ පට්ටානි රසීක්ගේ මළ සිරුර වළ දැමීම

බැසිල් ප‍්‍රනාන්දු විසිනි

වාලච්චේනේ උඞ්ඩමාවෙලි ප‍්‍රදේශයේ දුර බැහැර ගම්මානයක බාගෙට නිම කළ නිවසක් තුළ පට්ටානි රසීක්ගේ සිරුර වළ දැමීම  ඕනෑම රහස් පරීක්ෂකයෙකුගේ පරිකල්පනය දල්වන සිද්ධියකි. කෙසේ නමුත් 2010 ජූලි 28 වැනිදා ඔහුගේ මළ සිරුර සොයාගැනීමෙන් පසුව මේ සිද්ධිය ද වළ දමා තිබේ. අද දක්වා ද එය එසේය. 

ඒ වන විට ප‍්‍රකට ප‍්‍රජා නායකයෙකු වූ පට්ටානි රසීක් 2010 පෙබරවාරි 11 වැනිදා අතුරුදහන් විය. අවසන් වරට ඔහු ව දුටුවේ 2010 පෙබරවාරි 11 වැනිදා පොළොන්නරුව කදුරුවෙල ජුම්මා පල්ලිය අසල පස්වරු 3.30ට පමණ ය. සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව රසීක් ප‍්‍රජා භාර පදනම (Comunity Trust Fund-CTF)  හි සිය කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙක් ද සමග වෑන් රියකින් ගමන් කරමින් සිටියදී ‘සුදු වෑන් රියක්’ පැමිණ ඔවුන්ගේ මග අවහිර කර තිබේ. රසීක් සිය වෑන් රියෙන් බැස ‘සුදු’ වෑන් රියේ වූ පුද්ගලයන් වෙත ගිය අතර ඉන්පසු ඔවුහු අරාබි බසින් සුබපැතුම් හුවමාරු කර ගත්හ. විනාඩි කිහිපයක් ඔවුන් සමග කතාබස් කිරීමෙන් අනතුරුව රසීක් සිය සගයන් වෙත පැමිණ කියා තිබෙන්නේ, නැගෙනහිර පළාතේ වාලච්චේන වෙත යන එම සුදු වෑන් රියේ වූ කණ්ඩායම සමග තමන් ද යන බව ය. 

එම සිද්ධියෙන් අනතුරුව ඔහු පිළිබඳ ව කිසිවක් අසන්නට නොඇසුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියේද, මුන්දලම පොලිසියේද ඔහුගේ පවුලේ අය විසින් පැමිණිලලක් ගොනු කරන ලදී. රසීක් ප‍්‍රධානත්වය දැරූ ප‍්‍රජා භාර පදනම ද පුත්තලම පොලිසියේ පැමිණිල්ලක් දැමුවේය. තවද ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද, ඉන්පසු ජනාධිපතිවරයා වෙතද, ආරක්ෂක ලේකම්වරයා වෙතද, නීතිපතිවරයා වෙතද පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කරන ලදී. මානව හිමිකම් සුරකින්නන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වෙත ද එමෙන්ම බලහත්කාරයෙන් සිදුකරන ස්වෙච්ඡුාමය නොවන අතුරුදන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩකරන කණ්ඩායම වෙත ද වැඩිදුර පැමිණිලි සිදුකරන ලදී. මේ හැරුණු විට, ඔහුගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් ද දැකගන්නට ලැබිණි. 

බාගෙට ඉදි කළ ගොඩනැගිල්ලක් තුළ ඔහුගේ මළ සිරුර සොයාගෙන මිනිය ගොඩගනු ලැබුවේ එයට මාස පහකට පමණ පසුව ය. එම සොයාගැනීම කළේ සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරු වලිනි. එතැන් පටන් සිද්ධිය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඞීයට) භාර දී තිබිණි. සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර පසුව ඇප මත මුදා හරින ලදී. 

පට්ටානි රසීක්, ප‍්‍රදේශයේ අවතැන් වූවන්ට උපකාර කිරීමේ අරමුණින් පිහිටුවා ගත් ප‍්‍රජා භාර පදනමේ ප‍්‍රධානියා ය. ප‍්‍රදේශයට එල්ල වූ එල්ටීටීඊ ප‍්‍රහාර හේතුවෙන් අවතැන් වීම එම කාලයේ සුවිශේෂී ගැටළුවක් වූ අතර ප‍්‍රජා භාර පදනම ඔවුන්ට සහන සැපයීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. 

මෙම පැහැරගෙන යාම, අතුරුදන් කිිරීම සහ පසුව අඩක් ඉදි කළ පුද්ගලික නිවසක් තුළින් රසීක්ගේ සිරුර වළ දැමීම ප‍්‍රජා භාර පදනමේ මුදල් බැහැර කිරීම හා සම්බන්ධදැයි සැක ඉපදී තිබිණි. රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ නම ද රසීක් අතුරුදන් වීමේ අබිරහස සම්බන්ධ වාර්තාවල ප‍්‍රබල ලෙස ඉස්මතු කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසංන්ධාන කොමිසම (LLRC) සිය අවසන් වාර්තාවේ පහත මතය දක්වා තිබිණි.

‘‘…. (ඡ්දය* 5.31 ‘‘අරගලයෙන් පීඩාවට පත්වූ ප‍්‍රදේශවලට කොමිසම ගමන් කළ අවස්ථාවලදී මහජනතාව විසින් ඉදිරිපත් කරන     ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ බොහෝ කැළඹිලි සහගත දේ අතර, පුත්තලමේ රසීක් පට්ටානිගේ සිද්ධිය මෙහි සඳහන් කරනුයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ ම බලාපොරොත්තු සුන් කරවනසුලූ අත්දැකීමේ හේතුවෙනි. කොමිසම විසින් මේ සිද්ධිය ප‍්‍රදේශයේ අදාළ අධිකාරීන්ගේ අවධානයට යොමු කිිරීමෙන් පසුව ද අවසානාත්මක නීතිසාධන ක‍්‍රියාවක් නොමැති වීමේ ඛේදජනක තත්වය එයින් ඉස්මතු කරයි. කොමිසම මෙම වාර්තාව ලියමින් සිටියදී රසීක්ගේ මළසිරුර හමුවූ බව වාර්තා විය. නිසි කලදී කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නම් ඔහුගේ ජීවිතය සුරැුකිය හැකි ව තිබෙන්නට ඇත.

(ෙඡ්දය* 5.32 ‘‘පුත්තලම අවතැන් වූවන්ට සහන සලසන රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරියෙක් වූ රසීක් පැහැරගෙන යනු ලැබූ බවට සැක කෙරෙන්නේ රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදුකරන ලද වියදම් මෙන්ම එම සංවිධානයේ ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ නම් යටතේ ඇතැම් දේපළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් ද ඔහුව ප‍්‍රශ්න කිරීමෙන් පසුව ය. අධිකරණ නියෝගයෙන් පසුව ඔහු ව පැහැරගෙන යනු ලැබූ පුද්ගලයා ව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඇසූ විට, සැකකරු සිටින තැන් ගැන පොලිසිය නොදන්නා බවත්, ජනතාව එය දන්නේ නම් පොලිසියට එම කරුණු දැනගන්නට සැලැස්සුවහොත් පොලිසියට ඔහු ව අත්අඩංගුටව ගත හැකි බවත් ඔහු විසින් පැවසූ බව වාර්තා වේ. සැකකරුගේ ‘දේශපාලන සම්බන්ධතා’ හේතුවෙන් ඔහු ව අත්අඩංගුවට ගැනීම මගහරින බවටද වාර්තා විය. මෙය සනාථ වේ නම් කිව යුත්තේ එවැනි ආකල්පයකින් විශේෂයෙන්ම පොලිසිය කෙරෙහි මහජනයාගේ තිබෙන විශ්වාසය සහමුලින්ම සෝදාපාළු වන බවත් නීතිය හා සාමය පවත්වාගෙන යාම ඉතා අසීරු වනු ඇති බවටත් ය. අනිසි දේශපාලන මැදිහත්වීම් ද පොලිසියේ පැත්තෙන් සිදුවී තිබීම සම්බන්ධයෙන් ද කොමිසම මේ හා සමානව සිය අවධානය යොමු  කරයි…’’

ආණ්ඩුවේ සහ ප‍්‍රජාවේ පැත්තෙන්  ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්‍යන්ත බරපතළ කමකින් යුතුව කටයුතු කිරීම තරම්, ශිෂ්ට සම්පන්න වූ සමාජයක් පවත්වාගෙන යාමට අන් කිසිවක් වැදගත් නොවේ. මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ විමර්ශන සහ වරදකරුවන් ව නඩු විභාගයට ලක්කිරීම සාක්ෂාත් කළ නොහැකි නම් නීතිය බලාත්මක කිරීම සඳහා ආණ්ඩුවකට කිසිදු කැමැත්තක් හෝ හැකියාවක් තිබේ යැයි විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැත.

අත්‍යන්ත බරපතළ භාවයකින් යුතුව ආණ්ඩුව කරගෙන යන වැඩසටහන වශයෙන් යහපාලනය සටන් පාඨයක් බවට පත්වී තිබෙන මෙවැනි කාලයක, මනුෂ්‍ය ඝාතනයේ විමර්ශන සහ නඩු ඇසීම සිදුකරන ආකාරය එවැනි යහපාලනයක අව්‍යාජ භාවය සහ විශ්වාසනීයභාවය පිළිබඳ ප‍්‍රාථමික පරීක්ෂණය වන්නේය. 

පට්ටානි රසීක්ගේ සිද්ධියේ ඇති සුවිශේෂී භාවය වන්නේ ඝාතනයට ලක් කළ වින්දිතයාගේ මළ සිරුර සොයාගැනීමත් ඔහුව වළදමා ඇති ආකාරය ආශ‍්‍රිත කරුණු විසින් තමන් කරන අපරාධය හෙළි නොවීම සඳහා අපරාධකරුවන් ට තිබූ අතිමහත්  ඕනෑකම පිළිබඳ එයින් හෙළිවීමයි. පැහැරගැනීම, ඝාතනය සහ මළසිරුර වළ දැමීම සම්බන්ධයෙන් දැනට තිබෙන සාක්ෂි මගින් මනා ලෙස සිතා බලා මෙම අපරාධය සිදුකරන්නට ඇති බව හෙළි වෙයි. 

මේ අනුව මෙම සිද්ධිය නොවිසඳී තිබෙන්නේ සාක්ෂි නොමැති කම නිසා නොවේ. නිසි අභිචෝදනයක් හිතාමතාම වැළැක්වීමේ කි‍්‍රයාවලියක් එයින් යෝජනා කෙරේ. අපරාධකරුවෙක්/කරුවන් ආරක්ෂා කිරීම සඳහා ම වූ මෙවැනි කි‍්‍රයාවලියක් ද බිහිසුණු අපරාධයකි. 

අභියෝගය දැන් පොලිසියේ විමර්ශන අධිකාරීන් සහ නීතිපතිවරයා වෙත පැටවී තිබේ. නීතිය නිසි පරිදි බලාත්මක වන බව සනාථ කිරීමට අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුය. මේ අවධියේදීද, එය පවා කළ නොහැකි නම්, ශ‍්‍රී ලංකාවේ නීතිය බලාත්මක වීම ගැන විශ්වාසයක් තබන්නට කිසිම හේතුවක් නැත

Document Type : Article
Document ID : AHRC-ART-022-2015-SIN
Countries : Sri Lanka,
Issues : Administration of justice,