SRI LANKA: අශ්වයා පණ අදිද් දී ජොකියා වීමට පොරකෑම

බැසිල් ප‍්‍රනාන්දු

පාලකයෙකු පත් කර ගන්නේ රාජ්‍ය තන්ත‍්‍රය ජනතා සුභසිද්ධිය සදහා කි‍්‍රයාත්මක කරවා ගැනීම සදහාය. දැන් කලක සිටම ලංකාවේ පවතින ප‍්‍රධානම ප‍්‍රශ්නය නම් රාජ්‍ය තන්ත‍්‍රය පණ අදින තත්ත්වයක පසුවීමය. මූල්‍ය කටයුතු පිළිබඳ අංශයේ වුවත්, නිෂ්පාදන අංශයේ වුවත්, ආරක්ෂක අංශයේ වුවත්, යුක්තිය පසිඳලීමේ යෙදී සිටින ආයතන වල වුවත්, සුබසාධන පිළිබඳ අංශයේ එනම් සෞඛ්‍ය, අධ්‍යාපනය, වැඩිහිටියන් හා දරුවන්ගේ ආරක්ෂාව ආදී සෑම අංශයකම අපි දකින්නේ රාජ්‍ය තන්ත‍්‍රය කඩා වැටී පැවතීමය.


පණ අදිමින් තිබෙන රාජ්‍ය තන්ත‍්‍රය ගොඩගන්නේ කෙසේදැයි කිසිම සාකච්ඡුාවක් රට පුරාම පවතින්නේ නැත. දේශපාලන පක්ෂ කිසිවක් රට ගොඩගත හැකි තත්ත්වයක පසුවේ යැයි විශ්වාස කරන්නේත් නැත. රටේ විසිර පවතින ජනතාව රාජ්‍ය තන්ත‍්‍රය තමන් කෙරෙහි තමන්ට වාසිදායක වන ආකාරයට කි‍්‍රයාත්මක කිරීමට හැකියාවක් දියුණු කරගනු ඇතැයි ද යන්න පිළිබඳව විශ්වාසයකුත් නැත. සියලූම ජනකොටස් අතර පවතින්නේ දැඩි බලාපොරොත්තු විරහිත භාවය හා අවිශ්වාසය ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ජනතාව තම තමන් අතරේද පවතින්නේ අවිශ්වාසය හා එකිනෙකා පිළිබඳ සැකය මිස සහයෝගීතාවය හා සාමූහික හැඟීම නොවේ.
ලංකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳ ඡන්දය වෙනුවෙන් කටයුතු කෙරෙන්නේ රාජ්‍ය තන්ත‍්‍රය මෙවැනි අවාසනාවන්ත හා දරුණු අර්බුදයකට තල්ලූ වී ඇති තත්ත්වයක් තුළය. එහෙත් ඡුන්දය පැවැත්වීමට පසුබිම සැලසෙන වර්තමාන කාලය තුළදී රාජ්‍ය තන්ත‍්‍රයේ මෙම ගැටලූව පිළිබඳව සාකච්ඡාවක් ඇති කිරීමටවත් ඒ මගින් නැවත වරක් ජනමනස තුළ තමන්ගේ වර්තමානය හා අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කිරීමටත් කිසිවෙකුද උත්සාහ කරන්නේ නැත.

උත්සාහය පවතින්නේ හා සියලූම ඡන්ද ව්‍යායාම් පවතින්නේ එකම අරමුණක් සඳහා පමණි.  එම අරමුණ නම් මියෙන මෙම රාජ්‍ය තන්ත‍්‍රය නමැති අශ්වයාගේ ඊළඟ අශ්වාරෝහකයා වන්නේ කවුද යන්න  පිළිබඳව ඇති පොරකා ගැනීම පමණි. මේ වන විට මෙසේ මෙම පොරකා ගැනීමට සම්බන්ධ වන අපේක්ෂකයන් විශාල ගණනක් ඉදිරිපත් වී ඇත. ඒ අතර ඒ එක් එක් කොටසට සහයෝගය දෙන්නන් අතරද ඡන්දය පිළිබඳව කතාබහක් සිදුවෙමින් පවතී.

එහෙත් ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ මෙසේ අශ්වාරෝහකයෙකු ඡන්දයෙන් පත් කර ගත් පසු ඔහු මේ මියෙන අශ්වයා පණ ගන්වා ගැනීමට කිසියම් විධික‍්‍රමයක් තිබේ යැයි ප‍්‍රකාශයට පත් කර තිබේද යන්න පිළිබඳවය. අශ්වයා මියෙන කළ එම අශ්වයා වෙනුවෙන් අශ්වාරෝහකයෙකු බවට පත් වෙන්නට උත්සාහ කරන්නේ කුමන අරමුණක් ඉටු කර ගැනීම සඳහාද ?. මෙහිදී පැහැදිළිව පෙනී යන්නේ මියෙන රාජ්‍ය තන්ත‍්‍රයේ නැවත පණ ගන්වා ගැනීමට උත්සාහයක් කිරීමට ඉදිරිපත් වන අශ්වාරෝහකයන් නොව තම තමන්ගේ වෙනත් වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා පොරකන කණ්ඩායමක් පිළිබඳ මතු වී ඇති ගැටලූවය. අශ්වාරෝහකයෙකු අතින් යම් කාර්යයක් සිදු විය හැක්කේ අශ්වයා එහා මෙහා යාමට හැකි තත්ත්වයක, දුවන්නට හැකි තත්ත්වයක පසුවන තාක් දුරට පමණි. ලංකාවේ රාජ්‍ය තන්ත‍්‍රය කුමන අංශයකවත් එවැනි තත්ත්වයක නොපවතී.

මේ අනුව අශ්වාරෝහකභාවය තමන්ට දෙන්නැයි ඉල්ලා සිටිමින් ඡුන්ද ව්‍යාපාරයක යෙදෙන අපේක්ෂකයන් එසේ කරන්නේ රාජ්‍ය තන්ත‍්‍රය ජනතා සුබසිද්ධිය සඳහා කි‍්‍රයාත්මක කරවා ගැනීම සඳහා නැවත පණ පොවා ඒ අනුව පාලකයෙකු අතින් රාජ්‍ය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කර ලීම සඳහා නොවේ. පාලකයා යනු බරපතල යුතුකම් රාශියක් ඉටුකිරීමට පොරොන්දු වී එම කාර්යයට උරදීම සඳහා ඇති සුදුසුකම් පෙන්වා දී ඒ මගින් රාජ්‍ය තන්ත‍්‍රයේ භාරකාරත්වය අත්පත් කර ගැනීම සඳහා එන පුද්ගලයාය. තමන් බලයේ සිටින කාලය තුළ රාජ්‍ය තන්ත‍්‍රය ජව වේගයකින් කි‍්‍රයාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකයේ ඇති වී ඇති වැටීම උදාහරණයක් වශයෙන් රුපියලේ අගය පහතට වැටීම නතර කිරීම, මහා පරිමාණ ණය බරින් රට මුදවා ගැනීම හෝ අවම වශයෙන් එම ණය සැලකිය යුතු ආකාරයකින් අඩුකර ගැනීම සඳහා ප‍්‍රයත්න දැරීම, ණය බර ජනතාව මත පටවමින් බඩු මිල විශාල වශයෙන් ඉහළ දැමීම මගින් ජීවිකාව කර ගෙන යාමට බැරි තරමට ජනතාව පත්වීම වැළැක්වීම, මූලික සේවා පහසුකම් එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, වැඩිහිටි හා ළදරුවන්ගේ සුබසාධනය, කාන්තාවගේ තත්ත්වය නගා සිටුවීම ආදී වශයෙන් දීර්ඝව විස්තර කළ හැකි ආර්ථික ගැටලූ විසඳීම පාලකයාගේ පරම යුතුකමක් වේ. ආර්ථික වශයෙන් වෙනසක් ඇති කිරීමට බැරි තත්ත්වයක පාලකයා පසුවන්නේ නම් එම පාලකයාගෙන් ජනතාවට ඇති වන ප‍්‍රයෝජනයක් නැත.

කාලයක සිටම ලංකාවේ පැවත ඇති පාලකයෝ එවැනි ජනතාවට කිිසිදු ප‍්‍රයෝජනයක් නැති කණ්ඩායමක් වෙති. එවැනි කණ්ඩායමකට තවත් අයෙක් එකතු කිරීම තුළින් ආර්ථිකය නම් යන්තම්වත් ඔසවා තැබීමට හැකි නොවනු ඇත.
කරුණු මෙසේ පවතිද්දී පාලකකම ඉල්ලා සිටින එනම් මියෙන අශ්වයාගේ අශ්වාරෝහකයා බවට පත්වීමට ඉල්ලා සිටින අය එසේ කරන්නේ රාජ්‍ය තන්ත‍්‍රය පිළිබඳ වගකීම් වලට මුහුණ දීම සඳහා නොව කඩාවැටුණු රාජ්‍යයක් තුළ විවිධ වාසි ලබා ගැනීමට තත්ත්වයක් නිර්මාණය කර ගැනීම සඳහාය. පසුගිය ආණ්ඩු වලින් සිදුවූයේද මෙයමය. සමහරු රජයේ මුදල් සොරා කෑහ. සමහරු රාජ්‍ය දේපල තමන්ට හෝ තමන්ගේ හිතවතුන්ට බෙදා දුන්නහ. සමහරු ඉතා බරපතල ආකාරයේ ජීවිතය ගෙනයාමට පවා බාධා කරමින් බඩුමිළ ඉහළ දැමූහ. තවත් සමහරු අධ්‍යාපන හා සෞඛ්‍ය සේවය කප්පාදු කර දැමූහ. විශ‍්‍රාම වැටුපට පවා තර්ජන ඇතිවන ආකාරයෙන් විවිධ තීන්දු ගැනීම නිසා දැන් අතීතයේදී වීරයන් ලෙස සලකන ලද ආබාධිත සොල්දාදුවන් පවා මහපාරට බසින තත්ත්වයක් නිර්මාණය වී ඇත. අන්ත දුගීභාවය නිසා ජීවිකාවක් කර ගැනීමට බැරි කමින් මිදීම සඳහා සුළු ණය ගෙන ඒවායේ පොළිය ගෙවා ගැනීමටවත් නොහැකි වීම නිසා සියදිවි නසා ගන්නා කාන්තාවන්ගේ ගණනද විශාල වශයෙන් වැඩි වී ඇත. රටපුරා අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර ලබා ගැනීමට බැරි ජනතා කොටස්ද විශාල වශයෙන් වැඩි වී ඇත. මෙවැනි අවස්ථාවක රටේ දේපල තව තවත් සොරා කෑමටත් රටේ මූල්‍ය තතත්වය තව තවත් පහතට හෙළා දැමීමටත් විවිධ දේපල විවිධාකාර බලහත්කාරකම් වලින් තමන් සතු කර ගැනීමටත් මේ හා බොහෝ ආකාර වලින් තමන්ගේ හා තමන්ගේ පවුල් වල විවිධාකාර වුවමනා ඉටු කර ගැනීම සඳහා පමනක් පත් වන පාලකයා පිළිබඳව ජනතා අවධානය යොමු විය යුතුව ඇත.

මියෙන අශ්වයා පිළිබඳ ප‍්‍රශ්නය එනම් කඩා වැටුනු රාජ්‍ය තන්ත‍්‍රය පිළිබඳ ප‍්‍රශ්නය ලාංකිකයා මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය වේ. අශ්වාරෝහක භාවය ඉල්ලා පොරකන සෑම කෙනෙකුගෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ මෙම මියෙන අශ්වයා නැවත පණ ගන්වා ගැනීමට, ජව සම්පන්න කර ගැනීමට ඔවුන්ට කිසියම් දර්ශනයක් හා කිසියම් කි‍්‍රයාමාර්ගයක් පවතිනවාද නැද්ද යන්නය. මෙය ලාංකිකයා මුහුණ දෙන මහා ප‍්‍රශ්නය වශයෙන් ඉස්මත්තට ගෙන එම මහා ප‍්‍රශ්නයට කුමන ආකාරයක අවධානයක් අශ්වාරෝහක භාවය ඉල්ලා සිටින්නාගේ දර්ශනය තුළ හා ඔවුන් ඉදිරිපත් කරන කි‍්‍රයාමාර්ග තුළ පවතිනවාද යන්න සොයා බැලීම මේ අවස්ථාවේ ජනතාවට යම් වාසියක් ලබා ගැනීමට හැකි එකම මාවත වේ.

අශ්වාරෝහකයා විවිධ සලකුණු වලින් හා විවිධ පාට වලින් ඉදිරිපත් විය හැකිය. එහෙත් ලාංකිකයා සියලූම අශ්වාරෝහකයන් දෙස බැලිය යුත්තේ මියෙන අශ්වයා පිළිබඳ සංකේතය පදනම් කර ගෙනය. මියෙන අශ්වයාට අදාල වන පාට වන්නේ කළු පාටය. රටපුරාම ජනජීවිත තුළ පැතිර පවතින්නේ මෙවැනි කළු පාටකි. මෙම කළු පාට වෙනුවට දීප්තිමත් පාටක් හා මියෙන අශ්වයා වෙනුවට ජව අශ්වයකු පණ ගන්වා ගැනීමේ සලකුණත් මතකයේ තබා ගෙන මෙම ඡන්දයට සහභාගි වුනහොත් එය තමන්ගේම අනාගතය සඳහා සුබදායක තත්ත්වයක් ඇති කිරීමට අවස්ථාවක් වනු ඇත.

Document Type : Article
Document ID : AHRC-ART-013-2019
Countries : Sri Lanka,
Issues : Democracy, Judicial system, Prosecution system, Rule of law,